හම්බන්තොට වරායට ආනයනය කරලා තියෙන වාහන 1,025ක් තවමත් නිදහස් කරගෙන නැහැ කියලා ශ්‍රී ලංකා රේගුව පවසනවා. මේ වාහන අතරින් 625ක්ම මාස හයකට වැඩි කාලයක් තිස්සේ වරායේ නවත්වලා තියෙන්නේ. මේ වාහන සම්බන්ධයෙන් කිසිම නීති විරෝධී ගැටලුවක් නැති වුණත්, ආනයනකරුවන් විසින් ඒවා නිදහස් කරගැනීමට කටයුතු නොකිරීම නිසා රේගු ආඥා පනතේ 129 වගන්තිය යටතේ මේවා වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් පටිපාටියක් හරහා විකිණීමට රේගුව තීරණය කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම භාණ්ඩයක් ආනයනය කළාට පස්සේ මාසයක් ඇතුළත බදු ගෙවලා නිදහස් කරගන්න ඕනේ. එහෙම නොවුණොත් රජයට ලැබිය යුතු බදු මුදල් අය කරගන්න රේගුවට නීතියෙන් බලය තියෙනවා. මේ විදිහට වාහන විකුණලා ලැබෙන මුදලින් මුලින්ම බදු සහ වරාය ගාස්තු පියවනවා. ඉතිරි මුදලක් තියෙනවා නම් ඒක අදාළ ආනයනකරුට නැවත ලබා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පන්චිහේවා මහතා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, වාහන නිදහස් කරගන්න බැරි වුණාට සාධාරණ හේතුවක් තියෙනවා නම්, ඒ ගැන විශේෂයෙන් සලකා බැලීමට රේගුව සූදානම්. මේ වන විටත් වරාය බලධාරීන් විසින් මේ වාහන ගැන රේගුව දැනුවත් කරලා තියෙන නිසා, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ වාහන තොගය බැහැර කිරීමට කටයුතු කරනවා.

Discussion & Feedback