නාසා ආයතනයේ කියුරියෝසිටි අඟහරු රෝවරය මේ දිනවල අඟහරු මත තවත් සුවිශේෂී ජයග්රහණයක් සනිටුහන් කරලා තියෙනවා. පසුගිය වසර 14ක කාලය පුරා අඟහරු මතුපිට ගවේෂණ කටයුතුවල නිරත වන මෙම රෝවරය, මේ වන විට කිලෝමීටරයක උසක් තරණය කිරීමට සමත් වෙලා තියෙනවා. මේ සුවිශේෂී අවස්ථාව සමරමින් කියුරියෝසිටි රෝවරය විසින් ලබාගත් ඡායාරූප 323ක් එකතු කරලා නිර්මාණය කළ අති දැවැන්ත පරිදර්ශන ඡායාරූපයක් (Panorama) නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. එහිදී අඟහරු මත පිහිටි ‘වැලේ ග්රෑන්ඩ්’ (Valle Grande) නිම්නයේ සුන්දර දර්ශනයක් අපිට දැකගන්න පුළුවන්.
2014 වසරේ සිට මවුන්ට් ෂාප් කන්ද තරණය කරන කියුරියෝසිටි රෝවරය, අඟහරු මත අතීතයේ දිය පහරවල් ගලා ගිය බවට සාක්ෂි මෙන්ම ජීවයේ මූලිකාංග ලෙස සැලකෙන කාබනික අණු සොයා ගැනීමටත් මූලික වුණා. රෝවරයේ රෝදවලට යම් හානි සිදුවී තිබුණත්, තවමත් ඉතා සාර්ථකව සිය ගවේෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තවත් රෝවරයක් වන පර්සිවරන්ස් රෝවරයත් මෑතකදී අඟහරු මතුපිට මැරතන් තරඟයක දුර ප්රමාණයට සමාන කිලෝමීටර 42.2ක දුරක් ගමන් කරමින් තවත් වාර්තාවක් තබා තිබෙනවා. අඟහරු ග්රහයා පිළිබඳව අපේ දැනුම පුළුල් කරන මේ වගේ පුවත් ඇත්තටම හරිම ආකර්ෂණීයයි.

Discussion & Feedback