ඇමසන් ප්රයිම් හි ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘ක්රිමිනල්’ (Criminal) කතාමාලාවේ ප්රධාන නිෂ්පාදක එඩ් බෲබේකර් ඇතුළු පිරිසකට එරෙහිව බරපතළ ලිංගික සහ වාර්ගික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්රී ලාංකික සම්භවයක් ඇති ඇමරිකානු චිත්රපට නිෂ්පාදකවරයෙකු වන ඉජාස් නූබු විසිනුයි. වසර 14ක අත්දැකීම් ඇති ඔහු පවසන්නේ, තමන් මෙම කතාමාලාවේ නිෂ්පාදන සහායකයෙකු ලෙස සේවය කරන කාලය තුළ බෲබේකර් ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් දැඩි අඩන්තේට්ටම්වලට ලක්වූ බවයි.
තමන් මුස්ලිම් ජාතිකයෙකු වීම හේතුවෙන් විවිධ අපහාසාත්මක ප්රකාශවලට ලක්වූ බවත්, බෲබේකර් විසින් තමන්ගෙන් හමාස් සංවිධානයට සහය දක්වන්නේ දැයි ප්රශ්න කළ බවත් නූබු සිය පැමිණිල්ලේ සඳහන් කරනවා. එපමණක් නොව, සේවා ස්ථානයේ සිදුවන මෙම අකටයුතුකම් පිළිබඳව පැමිණිලි කිරීම නිසා තමන්ව රූගත කිරීම්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවත් ඔහු චෝදනා කරනවා. මෙම සිදුවීමට අදාළව ඇමසන් සහ එම්.ජී.එම් (MGM) ආයතන ද වගකිව යුතු බවයි නූබු පවසන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් තවමත් නිල ප්රතිචාරයක් ලැබී නැහැ.
මෙම කතාමාලාව ජනප්රිය ග්රැෆික් නවකතාවක් ඇසුරින් නිර්මාණය වන්නක් වන අතර, චාලි හනම් සහ එමීලියා ක්ලාක් වැනි ප්රසිද්ධ නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වනවා. කෙසේ වෙතත්, මෙම නීතිමය ගැටලුව නිසා කතාමාලාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.

Discussion & Feedback