ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු අතිදක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා විදියට සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පුරාවෘත්ත ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වයස අවුරුදු 89දී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. මේ දුක්බර පුවත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. 1954 ඉඳන් 1974 දක්වා කාලය තුළ කොදෙව් කණ්ඩායම නියෝජනය කරපු සෝබර්ස්, ටෙස්ට් තරග 93කදී ලකුණු 8,032ක් ලබාගත්තේ 57.78ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඒ වගේම ඔහු පන්දු යවන්නෙක් විදියට කඩුලු 235ක් දවාගන්නත් සමත් වුණා.
ඔහුගේ ක්‍රිකට් දිවියේ විශේෂම සිදුවීමක් විදියට 1958දී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් ලබාගැනීම හඳුන්වන්න පුළුවන්. බ්‍රයන් ලාරා විසින් එම වාර්තාව බිඳ දමන තෙක්ම ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වුණේ සෝබර්ස්. ඒ විතරක් නෙවෙයි, පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එකම ඕවරයකදී හයේ පහර හයක් එල්ල කරපු ලෝකයේ පළමු ක්‍රීඩකයා වුණෙත් ඔහුයි. 1975 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලබපු සෝබර්ස්, බාබඩෝස් රාජ්‍යයේ ජාතික වීරයෙක් විදියටත් ගෞරවයට පාත්‍ර වුණා.
මේ වන විට ලෝකය පුරා ඉන්න ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රීඩකයන් ඔහු වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ලබාදුන්නු අසමසම දායකත්වය නිසා සෝබර්ස්ගේ නම ක්‍රිකට් ඉතිහාසයේ හැමදාමත් රන් අකුරින් ලියැවෙනු ඇති. ඔහුගේ වියෝව ක්‍රිකට් ලෝකයටම ලොකු පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback