මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කරගන්න රජය රුපියල් බිලියන 71.7ක සහන මල්ලක් ලබාදීමට තීරණය කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පොදු මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව (CoPF) මේ සඳහා අනුමැතිය ලබාදුන්නා. විශේෂම දේ තමයි මේ මුදල අලුතින් ණය ගැනීමක් හෝ වියදම් සීමාව ඉක්මවා යාමක් නෙවෙයි. මීට කලින් වෙන් කරලා තිබුණත් භාවිත නොකළ අරමුදල් නැවත සකස් කිරීමක් විතරයි මේ සිදු කරන්නේ.
මේ මුදලින් වැඩිම කොටසක් එනම් රුපියල් බිලියන 52.8ක් වෙන් කරලා තියෙන්නේ ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යන්න සහ ඉන්ධන මිල ගණන්වල බලපෑම පාලනය කරන්නයි. ඒ වගේම විදුලි බල මණ්ඩලය වෙනුවෙන් රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහනට රුපියල් බිලියන 8.2ක්, කෘෂිකර්මාන්තයට සහ ධීවර ක්ෂේත්රයටත් මේ සහන මල්ලෙන් මුදල් වෙන් කරලා තියෙනවා. මේ සියලුම මුදල් පසුගිය කාලේ සිදුවුණු ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පස්සේ සහන කටයුතු සඳහා වෙන් කරලා තිබුණත් ඉතිරි වෙලා තිබුණු අරමුදල්වලින් තමයි පියවන්නේ.
මේ සහන මල්ල ලබාදීම හරහා ඉන්ධන මිල ඉහළ යාමේ පීඩනය සාමාන්‍ය ජනතාවට දැනෙන එක අවම කරන්න පුළුවන් වෙයි කියලා කාරක සභාව විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරියේදී එළඹෙන එල් නිනෝ කාලගුණික තත්ත්වය ගැනත් කාරක සභාවේදී අවධානය යොමු වුණා. රටේ ආර්ථිකය ස්ථාවරව තියාගන්න මේ වගේ තීරණ ඉතාම වැදගත් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

Discussion & Feedback