පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පොදු මූල්‍ය කාරක සභාවේදී 2026 වසරට අදාළ විදේශ විනිමය රෙගුලාසි සහ නියෝග කිහිපයකට අනුමැතිය ලබා දී තිබෙනවා. මහ බැංකු නිලධාරීන් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ විදේශ ආයෝජන, විගමනිකයන්ගේ වත්කම් හුවමාරුව සහ විදේශ විනිමය පිටතට ගලායාම පාලනය කිරීම වැනි කරුණු කිහිපයක් පදනම් කරගෙනයි. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නිසා, මීට පෙර පනවා තිබූ තාවකාලික සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙනවා.
මෙම නව රෙගුලාසි යටතේ, ලැයිස්තුගත සමාගම්වලට විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා ඇමරිකානු ඩොලර් 750,000ක සීමාවක් සහ ලැයිස්තුගත නොවන සමාගම් සඳහා ඩොලර් 200,000ක සීමාවක් පනවා තිබෙනවා. කෙසේ වෙතත්, 2027 වසර වන විට මෙම සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට නියමිතයි. මීට අමතරව, අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ අනවසරයෙන් මුදල් පිටතට යාම වැළැක්වීම සඳහා රේගු සහ බැංකු දත්ත ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ගැනත් මෙහිදී සාකච්ඡා වුණා.
කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේ, විදේශ විනිමය සම්බන්ධයෙන් පනවන අනවශ්‍ය සීමාවන් නිසා දේශීය ව්‍යාපාරිකයන් අධෛර්යමත් විය හැකි බවයි. එවැනි තත්ත්වයක් තුළ රටට ලැබිය යුතු විදේශ විනිමය ආදායම් පවා අඩුවීමට ඉඩ ඇති බවත්, ඒ නිසා ආර්ථිකය දිරිමත් වන ආකාරයෙන් මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැනත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Discussion & Feedback