ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසන්නිවේදන මහාචාර්යවරයා ලෙසත්, ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ පුරෝගාමී විද්වතෙක් ලෙසත් ලෝකයේම පිළිගැනීමට ලක්වූ මහාචාර්ය විමල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙලා. මියයන විට එතුමා 86 වන වියේ පසු වුණා. හවායි දූපතේදී එතුමා අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වෙන්නේ. 1939 සැප්තැම්බර් 06 වැනිදා කුරුණෑගල උපත ලැබූ එතුමා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් එතුමා, පසුව පෙන්සිල්වේනියා සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලින් තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරමින්, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදනය විෂයයක් ලෙස හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් එතුමා ඉටු කළා. ඒ වගේම එතුමා දක්ෂ නිර්මාණකරුවෙක්, සාහිත්‍ය විචාරකයෙක් සහ ආසියානු සිනමාව පිළිබඳ ලෝක මට්ටමේ විශේෂඥයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. සන්නිවේදන සහ සංස්කෘතික අධ්‍යයනයන් සම්බන්ධයෙන් එතුමා ලියූ පොතපත සහ පර්යේෂණ ලිපි ලේඛන ගණනාවක් තිබෙනවා. හවායි විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානියා ලෙසත් එතුමා සේවය කළා.
එතුමාගේ වියෝව ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය ක්ෂේත්රයට සහ සන්නිවේදන අධ්‍යයන අංශයට සිදුවූ විශාල පාඩුවක්. එතුමාගේ සේවය අනාගත පරපුරටත් සැමදා සිහිපත් වේවි. එතුමාගේ පවුලේ උදවියට සහ හිතවතුන්ට අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා.

Discussion & Feedback