නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මෑතකදී අභ්යවකාශයේ ඉතාමත් අලංකාර සහ විශ්මයජනක දසුනක් අපට දැකගන්න ලැබුණා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,000ක් පමණ ඈතින් පිහිටි IC 348 නමින් හඳුන්වන මෙම කලාපය, අලුතින් තරු බිහිවන ස්ථානයක් විදියටයි සැලකෙන්නේ. එහි පාවෙන වායු සහ දූවිලි වලාවන් අතරින් දිලිසෙන තරු දහස් ගණනක් ඉතා පැහැදිලිව මේ ඡායාරූපයේ දැකගන්න පුළුවන්. මේ දසුන ඇත්තටම අභ්යවකාශයේ තියෙන අපූරු නිර්මාණයක් වගේ.
විද්යාඥයන් මේ පර්යේෂණය සිදු කරන්නේ ‘බ්රවුන් ඩ්වාෆ්’ (Brown Dwarfs) හෙවත් දුඹුරු වාමන තරු ගැන සොයා බලන්නයි. මේවා තරු වගේම හැඩගැසුණත්, තරු තරම් විශාල නැති, ඒ වගේම ග්රහලෝකවලට වඩා විශාල අමුතුම ආකාරයේ වස්තූන් විශේෂයක්. මේවායේ හරය තුළ හයිඩ්රජන් විලයනය සිදුවන්නේ නැති නිසා ඒවා සාමාන්ය තරු තරම් දීප්තිමත් නැහැ. නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂයේ තියෙන අධෝරක්ත කිරණ තාක්ෂණය නිසා, ඉතාමත් අඳුරු සහ කුඩා බ්රවුන් ඩ්වාෆ් පවා සොයාගන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.
මීට පෙර 2022 වසරේදීත් මෙවැනිම කුඩා බ්රවුන් ඩ්වාෆ් කිහිපයක් සොයාගන්න විද්යාඥයන් සමත් වුණා. මේ නව ඡායාරූපය හරහා තරු සහ ග්රහලෝක අතර මැද පවතින මේ අභිරහස් වස්තූන් කොහොමද හැදෙන්නේ කියන එක ගැන තවදුරටත් ගැඹුරින් අධ්යයනය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. අභ්යවකාශයේ තියෙන මේ අසීමිත රහස් එකින් එක හෙළි කරගන්න ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබාදෙන දායකත්වය ඇත්තටම අතිමහත්.

Discussion & Feedback