ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියා ආසන්නයේ පිහිටි රහසිගත ගබඩාවක තිබී අතිවිශාල කොකේන් තොගයක් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වෙලා තියෙනවා. මෙය ලයිබීරියානු ඉතිහාසයේ සිදු වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙසයි සැලකෙන්නේ. පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ ලොරි රථයක තිබී සොයාගත් ගමන් මලු සහ පෙට්ටි ගණනාවක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබූ බවයි. මේවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 370කට වඩා වැඩි බව පොලිස් ප්‍රධානී ග්‍රෙගරි කෝල්මන් තහවුරු කරලා තියෙනවා.
මෙම වැටලීමේදී විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් සතුව ස්පාඤ්ඤ, කොලොම්බියානු සහ සර්බියානු ගමන් බලපත්‍ර තිබී හමුවී තිබෙනවා. පසුගිය වසර එකහමාරක කාලයක් තිස්සේ සිදුකළ රහසිගත විමර්ශනයකින් පසුවයි මෙම වැටලීම සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ලයිබීරියාවේ උප ජනාධිපති ජෙරමියා කුන්ග් පවසන්නේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවයි. බටහිර අප්‍රිකානු කලාපය දකුණු ඇමරිකාවේ සිට යුරෝපයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබීම ජාත්‍යන්තර බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්වෙලා තියෙනවා.
මීට පෙර පසුගිය මාසයේදී රොබට්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ද ආහාර ද්‍රව්‍ය ලෙස ව්‍යාජව ලේබල් කර තිබූ කොකේන් තොගයක් අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම් මාලාවත් සමඟ ලයිබීරියානු රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම මත්ද්‍රව්‍ය තොගය කොහේ සිට පැමිණියේද සහ ඒවායේ අවසාන ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

Discussion & Feedback