ලෝක ප්‍රකට බීම නිෂ්පාදන සමාගමක් වන කොකාකෝලා ආයතනයට අයත් ෆෙයාර්ලයිෆ් (Fairlife) කිරි නිෂ්පාදන අංශයට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා ක්‍රියාත්මක වන ඔවුන්ගේ කිරි නිෂ්පාදන කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙය ‘රැන්සම්වෙයාර්’ (Ransomware) වර්ගයේ සයිබර් ප්‍රහාරයක් බවත්, එමගින් සමාගමේ නිෂ්පාදන පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් කොකාකෝලා සමාගම ඇමරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, කැනඩාවේ ක්‍රියාත්මක වන ෆෙයාර්ලයිෆ් කිරි නිෂ්පාදන මධ්‍යස්ථානවලට මෙම ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදුවී නැහැ. 2024 වසර වන විට ඩොලර් බිලියන 4ක පමණ වාර්ෂික ආදායමක් උපයන ෆෙයාර්ලයිෆ් සන්නාමය කොකාකෝලා සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනයක්. මීට පෙරද මෙවැනි සයිබර් ප්‍රහාර හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ ආහාර හා බීම නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු සති ගණනාවකින් ඇනහිටි අවස්ථා අපට දැකගන්න ලැබුණා. මේ නිසා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.
දැනට පවතින තොරතුරු අනුව, මෙම පද්ධති නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කවදාද යන්න පිළිබඳව කොකාකෝලා සමාගම තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම සමාගම් පවා මෙවැනි අවදානම්වලට ලක්වීම තාක්ෂණික ලෝකයේ පවතින බරපතල තත්ත්වයක් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඉදිරියේදී මෙම තත්ත්වය කෙසේ විසඳේවිද යන්න පිළිබඳව පාරිභෝගිකයන් මෙන්ම ආයෝජකයන්ද දැඩි අවධානයකින් පසුවනවා.

Discussion & Feedback