ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් CNN, MS NOW සහ Politico වැනි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයට ඇතුළු වීමට තිබූ අවසරය නැවතත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉඩ ඇති බවට එම ආයතන අනතුරු අඟවනවා. මීට පෙර අධිකරණය විසින් ලබාදුන් තාවකාලික නියෝගයක් මත ඔවුන්ට නැවත ඇතුළු වීමට අවස්ථාව ලැබුණත්, ට්‍රම්ප් පාලනය තවමත් එම මාධ්‍ය ආයතනවලට එරෙහිව විවිධ සීමා පැනවීම් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සංචාර සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සඳහා මෙම මාධ්‍ය ආයතනවලට සහභාගී වීමට ඉඩ නොදීම හරහා ඔවුන්ගේ මාධ්‍ය නිදහසට බාධා එල්ල වන බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.
මෙම මාධ්‍ය ආයතන පවසන්නේ ජනාධිපතිවරයා තමන්ට වාසිදායක නොවන පුවත් වාර්තා කිරීම නිසා පළිගැනීමේ චේතනාවෙන් මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි. මෙය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය යටතේ ලැබී ඇති මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බව ඔවුන්ගේ නීති කණ්ඩායම අධිකරණය හමුවේ තර්ක කරනවා. තාවකාලික නියෝගය අවසන් වූ පසු ට්‍රම්ප් පාලනය නැවතත් දැඩි තහනමක් පැනවීමට ඉඩ ඇති බැවින්, එය වළක්වා ගැනීමට ස්ථිර අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මාධ්‍ය ආයතනවලට එරෙහිව පවතින මෙම සීමා කිරීම් නිසා ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා සිදුවන බවත්, මෙය ප්රජාතන්ත්රවාදයට එල්ල වූ තර්ජනයක් බවත් ඔවුන් අවධාරණය කරනවා.

Discussion & Feedback