පැරණි BlackBerry දුරකථනවල තිබුණු භෞතික යතුරුපුවරුව (Physical Keyboard) නැවතත් ස්මාර්ට්ෆෝන් ලෝකයට ගෙන ඒමට Clicks Technology සමාගම සූදානම් වෙනවා. ඔවුන් හඳුන්වා දෙන මෙම අලුත්ම ‘Clicks Communicator’ දුරකථනය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ වැඩියෙන් ටයිප් කරන, ඊමේල් සහ පණිවිඩ හුවමාරු කරන අයට පහසුවක් වෙන්නයි. ඩොලර් 499ක මිලකට අලෙවි වීමට නියමිත මෙම දුරකථනය, නවීන තාක්ෂණය සහ පැරණි ආකර්ෂණීය පෙනුම එකට එකතු කරපු අපූරු නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
මේ දුරකථනයේ තියෙන විශේෂම දේ තමයි ‘Signal Light’ කියන පහසුකම. ඒ හරහා ඔබට ලැබෙන පණිවිඩවලට අනුව දුරකථනයේ පැත්තකින් විවිධ වර්ණවලින් ආලෝකය දැල්වෙනවා. ඒ වගේම මයික්‍රෝ එස්.ඩී කාඩ් හරහා 2TB දක්වා මතකය වැඩි කරගන්නත්, හෙඩ්ෆෝන් ජැක් එකක් භාවිතා කරන්නත් මෙහි අවස්ථාව තියෙනවා. නිතරම සමාජ මාධ්‍යවල ගිලී ඉන්න අයට වඩා, වැඩකටයුතු පහසුවෙන් කරගන්න කැමති අයට මේ දුරකථනය ඉතාම සුදුසුයි. මේ වසරේ අවසාන කාර්තුවේදී වෙළඳපොළට නිකුත් වීමට නියමිත මෙම දුරකථනය ගැන තවත් අලුත් තොරතුරු ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback