ශ්‍රී ලංකාවෙන් පිටතට නීතිවිරෝධී ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 715ක මුදලක්, ඒ කියන්නේ රුපියල් බිලියන 214.7කට ආසන්න මුදලක් යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. 2023 ජනවාරි මාසයේ සිට 2026 මාර්තු දක්වා කාලය තුළ සමාගම් 105ක් හරහා මෙම මුදල් හුවමාරු සිදුවී තිබෙන්නේ කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ව්‍යාජ ඉන්වොයිසි සහ රේගු ලේඛන ඉදිරිපත් කරමින්. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් සම්බන්ධ වී ඇති අතර, ටෙලිග්රාෆික් හුවමාරු 24,300ක් පමණ සිදුකර ඇති බවයි සී.අයි.ඩී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා මහජන මුදල් පිළිබඳ කාරක සභාවේදී පවසා සිටියේ.
මෙම ජාවාරම පිටුපස ඩුබායි කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධයක් පවතින බවත්, එය ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ ජාලයක් බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. මේ වන විටත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර, ඉන් එක් අයෙක් සමාගම් 43ක් හරහා ඩොලර් මිලියන 43ක් විදේශගත කිරීමට සම්බන්ධ බවට තහවුරු වී තිබෙනවා. ඉන්ටර්පෝල් සහාය ඇතිව ඩුබායි සිට ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය සහ අපරාධ ආදායම් විමර්ශන අංශය එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback