ජර්මනියේ මැග්ඩෙබර්ග් නුවර නත්තල් වෙළඳපොළකට කඩා වැදී අහිංසක ජීවිත හයක් බිලිගත් 51 හැවිරිදි සෞදි අරාබි ජාතික තාලෙබ් අල්-අබ්දුල්මොහ්සන්ට එරෙහිව ජර්මානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් 20 වනදා රාත්රියේදී ඔහු තමන් කුලියට ගත් මෝටර් රථයක් ඉතා වේගයෙන් ජනතාව ගැවසෙන නත්තල් වෙළඳපොළ වෙත පදවාගෙන ගොස් මෙම බිහිසුණු ප්‍රහාරය එල්ල කළා. මෙම සිදුවීමෙන් නව හැවිරිදි කුඩා දරුවෙක් සහ කාන්තාවන් පස් දෙනෙක් මියගිය අතර, තවත් 300කට ආසන්න පිරිසක් බරපතල තුවාල ලැබුවා.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු කිසිදු දේශපාලනික හෝ ආගමික අරමුණකින් තොරව, හුදෙක් තමන්ගේ පෞද්ගලික කෝපය සහ අවධානය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි. මනෝ වෛද්‍යවරුන් පවසන්නේ ඔහු නාර්සිස්ටික් පෞරුෂ ආබාධයකින් පෙළෙන අයෙකු බවයි. 2016 වසරේදී ජර්මනියෙන් දේශපාලන රැකවරණ ලබා සිටි මොහු, මීට පෙර මනෝ වෛද්‍ය සායනයක සේවය කළ අයෙකු වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත්, අධිකරණය විසින් ඔහුට උපරිම දඬුවම් ලබා දීමට තීරණය කළ අතර, ඔහුට තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. මෙම සිදුවීම මුළු ජර්මනියම දැඩි කම්පනයකට පත් කිරීමට සමත් වුණා.

Discussion & Feedback