චීනයේ අභ්යවකාශ තාක්ෂණ ආයතනය විසින් අද උදෑසන අභ්යවකාශගත කළ ‘ලෝන්ග් මාර්ච් 7A’ රොකට්ටුවක් ගුවන්ගත වී තත්පර 85ක් වැනි කෙටි කාලයකදී අහසේදී පුපුරා ගොස් තිබෙනවා. හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්යවකාශ මධ්යස්ථානයෙන් මෙම රොකට්ටුව අභ්යවකාශගත කළ අතර, එය පෘථිවි වායුගෝලය තරණය කරමින් තිබියදී හදිසියේම විශාල ගිනි බෝලයක් බවට පත් වී සුන්බුන් බවට පත් වුණා. සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ මෙම සිදුවීම ඉතා බිහිසුණු එකක් බවයි. මෙම රොකට්ටුව මගින් චීනයට අයත් ‘ෂොංෂින්-4B’ නම් සන්නිවේදන චන්ද්රිකාවක් රැගෙන යාමට නියමිතව තිබූ අතර, මෙම අනතුර නිසා එම චන්ද්රිකාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම රොකට්ටුවේ එන්ජින් දෝෂයක් හෝ තාක්ෂණික ගැටලුවක් මෙම පිපිරීමට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා. චීන බලධාරීන් තවමත් මේ පිළිබඳව නිල ප්රකාශයක් නිකුත් කර නැතත්, මෙම අසාර්ථක වීම නිසා ඉදිරියේදී සිදු කිරීමට නියමිත අභ්යවකාශ මෙහෙයුම් කිහිපයක්ම ප්රමාද වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම චීනයේ අභ්යවකාශ මධ්යස්ථානය වෙත භාණ්ඩ ප්රවාහනය කරන මෙහෙයුම්වලට මෙම සිදුවීම බලපෑම් කළ හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මෙම අනතුරට නිශ්චිත හේතුව සොයා ගැනීමට මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback