මේ දිනවල මන්දගාමී වෙමින් පවතින චීන ආර්ථිකය යළි නඟා සිටුවීමේ අරමුණින් චීන රජය විසින් දැවැන්ත පියවරක් අරගෙන තියෙනවා. ඒ අනුව, එරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු අටක් සහ රක්ෂණ සමාගම් සඳහා චීන මුදල් අමාත්‍යාංශය මගින් යුවාන් බිලියන 360ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 54ක මුදලක් ආයෝජනය කිරීමට තීරණය කර තිබෙනවා. මෙම පියවර හරහා බැංකුවල මූල්‍ය ශක්තිය වර්ධනය කරමින්, රටේ සැබෑ ආර්ථිකයට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමේ හැකියාව වැඩි කිරීමටත්, ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතා හමුවේ ඇති විය හැකි අවදානම් කළමනාකරණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
චීනය මේ වන විට බටහිර රටවල් සමඟ පවතින වෙළඳ ගැටුම්, ජනගහනය වයසට යාම සහ දේශීය ඉල්ලුම පහත වැටීම වැනි බරපතළ අභියෝග රැසකට මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු වීම නිසා චීන බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. ජනාධිපති ෂී ජින්පින් පවසන පරිදි මූල්‍ය ස්ථාවරත්වය කියන්නේ ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත් දෙයක්. ඒ නිසාම, ඉදිරියේදීත් ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට චීන රජය සූදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, මෙම දැවැන්ත මුදල් එන්නත් කිරීම චීන ආර්ථිකයේ පසුබෑම ආපසු හැරවීමට කොතරම් දුරට සමත් වේවිද යන්න ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback