අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, චීනයේ ‘ටියන්වෙන්-2’ (Tianwen-2) යානය විසින් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන ‘කමූඕලෙවා’ (Kamo’oalewa) නම් කුඩා ග්රහකයේ පළමු ඡායාරූපය පෘථිවියට එවා තිබෙනවා. මෙය පෘථිවිය වටා කක්ෂගතව පවතින ‘ක්වාසී-මූන්’ (quasi-moon) හෙවත් අර්ධ-සඳක් ලෙස හඳුන්වන අතර, මීටර් 15ත් 20ත් අතර ප්රමාණයකින් යුත් අසමමිතික පාෂාණ කොටසක් ලෙස මෙය හඳුනාගෙන තියෙනවා. විද්යාඥයන් සැක කරන්නේ මීට වසර මිලියන ගණනකට පෙර අපේ සඳ මත සිදු වූ දැවැන්ත ගැටීමකින් විසිවී ගිය කොටසක් ලෙස මෙය නිර්මාණය වන්නට ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා ටියන්වෙන්-2 යානය කිලෝමීටර් බිලියනයක පමණ දුරක් ගෙවා ග්රහකය අසලට ළඟා වී තිබෙනවා. ඉදිරි වසරක කාලය තුළ විවිධ විද්යාත්මක උපකරණ 11ක් භාවිතයෙන් මෙම ග්රහකය අධ්යයනය කිරීමටත්, ඉන් පසුව එහි මතුපිටින් සාම්පල ලබාගෙන පෘථිවියට රැගෙන ඒමටත් චීන විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. මීට පෙර ඇමරිකාව සහ ජපානය මෙවැනි සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කර තිබුණත්, චීනය සිය පළමු ග්රහක සාම්පල මෙහෙයුම ලෙස මෙය ඉතා උනන්දුවෙන් ක්රියාත්මක කරනවා. මෙම ගවේෂණය මගින් අපේ සඳෙහි ඉතිහාසය සහ සෞරග්රහ මණ්ඩලයේ රහස් ගැන තවත් බොහෝ දේ දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback