චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු උත්සවයකදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොං මහතා ප්‍රකාශ කළා. දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් නගර නිර්මාණය සහ රාජ්‍ය පාලනය වැනි ක්ෂේත්රවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වෙනවා. දෙරටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව මෙම සබඳතා ශක්තිමත් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවති සාර්ථක සාකච්ඡා මගින් දෙරටේ අනාගත සබඳතා සඳහා නව මාවතක් විවෘත වී තිබෙනවා. එම සාකච්ඡාවලදී එකඟ වූ කරුණු ක්‍රියාවට නංවමින්, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමටත්, පොදු අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමටත් චීනය කැපවී සිටිනවා. චීනය අත්කරගෙන ඇති දැවැන්ත සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව පිළිබඳව සිහිපත් කළ තානාපතිවරයා, ‘එක් තීරයක් – එක් මාවතක්’ වැනි වැඩසටහන් හරහා ගෝලීය සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදෙන දායකත්වය ගැනත් අවධාරණය කළා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන්, මැති ඇමතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Discussion & Feedback