උතුරු කොරියාවේ න්‍යෂ්ටික පරීක්ෂණ සම්බන්ධයෙන් භූ කම්පන දත්ත විශ්ලේෂණය කරමින් කටයුතු කළ ඇමරිකානු ජාතික විද්‍යාඥයෙක් වන චෙන් යූලින්, චීන බලධාරීන් විසින් ඔත්තු බැලීමේ චෝදනා මත වසර දෙකකට ආසන්න කාලයක් රඳවාගෙන සිටින බව වාර්තා වෙනවා. 54 හැවිරිදි චෙන්, සිය පවුලේ අය හමුවීමට චීනයට ගිය අවස්ථාවේදී 2024 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳ පවසන පරිදි, චෙන් සිය වෘත්තීය කටයුතු සැමවිටම විනිවිදභාවයෙන් යුතුව සිදු කර ඇති අතර, මෙම චෝදනා කිසිසේත්ම පිළිගත නොහැකි ඒවා බවයි ඇය අවධාරණය කරන්නේ. ඔහුට නීතිඥයෙකු හමුවීමට පවා මුල් මාස 13ක කාලය තුළ අවස්ථාව ලබා දී නොමැති අතර, මේ වන විට ඔහු දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටින බවත් ඔහුගේ පවුලේ අය පවසනවා.
චෙන්ගේ මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස චීනයේ රහසිගත න්‍යෂ්ටික පරීක්ෂණ පිළිබඳ තොරතුරු සැඟවීමේ උත්සාහයක් තිබිය හැකි බව ඇමරිකානු බුද්ධි අංශ සැක පළ කරනවා. චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ තමන් නීත්‍යානුකූලව කටයුතු කරන බවත්, මෙහි අසාධාරණයක් සිදු වී නොමැති බවත්ය. කෙසේ වෙතත්, චෙන්ගේ මෙම අත්අඩංගුවට ගැනීම දෙරට අතර පවතින විද්‍යාත්මක සහයෝගීතාවයට විශාල බලපෑමක් එල්ල කර ඇති බව ඇමරිකානු සෙනෙට් සභික එඩ්වඩ් මාකි ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට චෙන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති අතර, ඔහු වහාම නිදහස් කර ගන්නා ලෙස විවිධ පාර්ශ්වයන් චීනයෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback