දකුණු අප්‍රිකානු කලාපයේ පිහිටි එස්වාටිනී රාජ්‍යයේ සිටින සියලුම චීන ජාතිකයින්ට වහාම එම රටින් පිටව යන ලෙස චීන විදේශ අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. එරට පවතින සයිබර් අපරාධ, සූදු ක්‍රීඩා ආශ්රිත නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ. එස්වාටිනී රාජ්‍යය තුළ රැඳී සිටීම ඉතාමත් අනතුරුදායක බවත්, යම් ගැටලුවක් ඇති වුවහොත් චීන රජයට සහාය ලබා දීම අපහසු විය හැකි බවත් ඔවුන් සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. දැනට එස්වාටිනී රාජ්‍යයේ සිටින චීන ජාතිකයින්ට අසල්වැසි දකුණු අප්‍රිකාව වැනි ආරක්ෂිත රටකට ගොස් පදිංචි වන ලෙසයි ඔවුන් වැඩිදුරටත් උපදෙස් දෙන්නේ.
මෙම සිදුවීම පිටුපස දේශපාලනික හේතු රැසක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එස්වාටිනී රාජ්‍යය තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන ලොව රටවල් කිහිපයෙන් එකක් වන අතර, අප්‍රිකානු මහද්වීපයේ තායිවානය සමඟ සබඳතා පවත්වන එකම රට මෙයයි. තායිවානය තම රටේ කොටසක් ලෙස සලකන චීනය, එස්වාටිනී රාජ්‍යය සමඟ පවතින මෙම සබඳතාවයට දැඩි විරෝධයක් දක්වනවා. මීට පෙර තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ එස්වාටිනී රාජ්‍යයේ සංචාරය කිරීම සම්බන්ධයෙන්ද චීනය සිය අප්‍රසාදය පළ කර තිබුණා. එස්වාටිනී රාජ්‍යයේ නීති විරෝධී සූදු මධ්‍යස්ථාන වැටලීම්වලදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිසක් සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර, මෙම තීරණයත් සමඟ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් උග්‍ර වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback