යාපනයේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි ‘වීනස් ස්පෙෂලිටි’ පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 30ක දැවැන්ත දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ රජයෙන් නියම කරලා තියෙන මිලට වඩා වැඩි මුදලක් රෝගීන්ගෙන් අය කිරීමේ වරදටයි. සාමාන්‍යයෙන් රුධිර පරීක්ෂණයක් (FBC) සඳහා අය කරන්න පුළුවන් උපරිම මිල රුපියල් 400ක් වුණත්, මේ රෝහල රෝගියෙක්ගෙන් රුපියල් 550ක මුදලක් අය කරලා තියෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පසුගිය ජූලි 13 වැනිදා සිදු කරපු හදිසි පරීක්ෂාවකදී තමයි මේ වංචාව අහුවෙලා තියෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරපු අතර, ජූලි 21 වැනිදා නඩුව කැඳවපු වෙලාවේ රෝහල් පාලනාධිකාරිය තමන් කරපු වරද පිළිගත්තා. ඒ අනුව තමයි මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේ. ඒ විතරක් නෙවෙයි, තමන් කරපු මේ වරද ගැන ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරන්නත් රෝහලට නියෝග කරලා තියෙනවා. ඒකේ වියදමත් රෝහල විසින්ම දරන්න ඕනේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට මතක් කරලා දෙන්නේ පෞද්ගලික රෝහල්වලින් හෝ රසායනාගාරවලින් සේවාවක් ගන්නකොට රජයෙන් නියම කරපු මිල ගණන් ගැන හොඳට හොයලා බලන්න කියලයි. හැම වෙලාවෙම නිල රිසිට්පතක් ඉල්ලගන්න අමතක කරන්න එපා. මොනවා හරි වැඩිපුර මුදලක් අය කරනවා නම් වහාම 1977 කියන ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා පැමිණිලි කරන්න කියලා ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback