ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් සහ ආයෝජකයෙක් වන චමත් පලිහපිටිය තමන්ගේම AI කේතීකරණ සමාගමක් වන ‘8090 Labs’ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 135ක දැවැන්ත මූල්‍ය ආයෝජනයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. මේ වටිනා ආයෝජන වටය සඳහා Salesforce Ventures ප්‍රමුඛත්වය අරගෙන තියෙන අතර, ඊට අමතරව තවත් ප්‍රබල ආයෝජකයින් රැසක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ ‘All-In’ පොඩ්කාස්ට් එකේ මිතුරන් වන ඩේවිඩ් සැක්ස්, ජේසන් කැල්කනිස් සහ ඩේවිඩ් ෆ්රීඩ්බර්ග් වැනි අයත් මේ සඳහා දායක වෙලා තියෙන එක විශේෂත්වයක්.
2024 වසරේදී ආරම්භ කරපු මේ සමාගම මගින් ‘Software Factory’ නමින් නවතම AI මෙවලමක් හඳුන්වා දීලා තියෙනවා. මේක සාමාන්‍ය මෘදුකාංග නිර්මාණය කරනවාට වඩා එහා ගිය, ආයතනික මට්ටමේ උසස් තත්ත්වයේ මෘදුකාංග නිපදවන්න උදව් වෙන එකක්. මේ ආයෝජනයත් එක්කම චමත් පලිහපිටිය තීරණය කරලා තියෙනවා තමන්ගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) විදිහට කටයුතු කරන්න. ෆේස්බුක් සමාගමේ මුල් කාලීන සාමාජිකයෙක් විදිහට වැඩ කරපු කාලේ දැනුණු ඒ උද්යෝගයම මේ AI තාක්ෂණය තුළින් තමන්ට දැනෙන බවත්, ඒ නිසාම තමන් නැවතත් පූර්ණකාලීනව මෙහෙයුම් කටයුතු වලට එකතු වෙන්න තීරණය කරපු බවත් ඔහු සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා තියෙනවා.
මේ වන විට AI තාක්ෂණය ලෝකය පුරාම වේගයෙන් පැතිරෙන නිසා, චමත්ගේ මේ නවතම පියවර තාක්ෂණික ක්ෂේත්රයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ආයතනික මට්ටමේ කේතීකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කරන්න මේ සමාගම ගන්නා උත්සාහය ඉදිරියේදී මෘදුකාංග ක්ෂේත්රයට ලොකු බලපෑමක් කරයි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback