ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රට තුළ ක්‍රියාත්මක වන තහනම් පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ඉතා වැදගත් දැනුම්දීමක් කරලා තියෙනවා. ඒ අනුව, ‘TM App’ කියන ජංගම දුරකථන යෙදුම පිරමිඩ යෝජනා ක්‍රමයක් ලෙස හඳුනාගෙන, එය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර අරන් තියෙනවා. 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවයි මේ තීරණය අරන් තියෙන්නේ. මේ ඇප් එක හරහා ජනතාව මුලා කරමින් මුදල් වංචා කිරීමක් සිදුවන බව මහ බැංකුව විසින් තහවුරු කරගෙන තියෙනවා.
මේ වන විට මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙන තහනම් ලැයිස්තුවේ සමාගම් සහ ඇප් වර්ග 26ක් ඇතුළත් වෙනවා. Qnet, MTFE, OnmaxDT, Fruugo Oline, Beecoin App වගේ ප්‍රසිද්ධ නම් ගණනාවක්ම මේ ලැයිස්තුවේ තියෙනවා. මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්නේ, මෙවැනි සැක සහිත යෝජනා ක්‍රමවලට හසු නොවී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න කියලයි. පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් කියලා ප්‍රචාරය කරන මෙවැනි ව්‍යාපෘතිවලට තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න කලින් ඒ ගැන හොඳට හොයලා බලන්න කියලා මහ බැංකුව අවධාරණය කරනවා.
ඔබත් මෙවැනි යෙදුම් හෝ සමාගම්වල ආයෝජනය කරලා තියෙනවා නම් හෝ ඒ ගැන සැකයක් තියෙනවා නම්, වහාම මහ බැංකුවේ නිල වෙබ් අඩවියට ගිහින් මේ තහනම් ලැයිස්තුව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. තමන්ගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි මෙවැනි වංචනික ක්‍රමවලට අහිමි කරගන්න එපා කියලා මහ බැංකුව නැවත නැවතත් ජනතාවට සිහිපත් කරනවා.

Discussion & Feedback