ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් පුවතක් පසුගියදා වාර්තා වුණා. ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමේ සිට ‘B-‘ මට්ටම දක්වා ඉහළ නංවන්න පියවර ගත්තා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් පියවර සහ සිදුකළ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් විදිහට මේ දියුණුව දකින්න ලැබෙන බවයි.
ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතනවල සංගමයේ 49 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. පසුගිය කාලයේ රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීමට හැකිවීම ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉතා ශක්තිමත් පදනමක් සපයන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ෆිච් ආයතනය විසින් ලබාදුන් මෙම ස්ථාවර දැක්ම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිවැරදි මාවතේ ගමන් කරන බව ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා.
දැන් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ ආර්ථික ස්ථාවරත්වයේ සිට තිරසාර ආයෝජන, ඉහළ ඵලදායිතාව සහ දිගුකාලීන ආර්ථික වර්ධනය කරා රට ගෙනයාමටයි. මේ ගමන සාර්ථක කරගැනීම සඳහා දිගින් දිගටම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ හරහා රටේ ජනතාවට වඩාත් යහපත් ආර්ථික වාතාවරණයක් ගොඩනැගිය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරනවා.

Discussion & Feedback