අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. මේ බව ප්‍රකාශ කළේ කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමායි. පසුගිය ජූලි 10 වැනිදා පැවති විපක්ෂයේ රැස්වීමකදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් මුල් කරගෙන මේ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මන්ත්‍රීවරයා පවසා තිබුණේ ජූලි 2 වැනිදා යුද හමුදාපතිවරයා කාදිනල් හිමිපාණන් හමුවීමට ගිය බවත්, ඉන් පසුව හමුදාපතිවරයාගේ ධුර කාලය 2028 වසර දක්වා දීර්ඝ කළ බවත්ය. කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන්ගේ කාර්යාලය මේ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. කාදිනල් හිමිපාණන් රෝමයේ පැවති සමුළුවකට සහභාගි වී නැවත ලංකාවට පැමිණ ඇත්තේ ජූලි 3 වැනිදා බවත්, එතැන් සිට මේ දක්වා යුද හමුදාපතිවරයා සමඟ කිසිදු හමුවීමක් සිදුවී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
සිරිල් ගාමිණීතුමා වැඩිදුරටත් සඳහන් කළේ, පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් රටේ ආගමික සහජීවනයට හානි කිරීමට මන්ත්‍රීවරයා උත්සාහ දරන බවයි. මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් හරහා අවශ්‍ය නීතිමය පියවර දැනටමත් ගනිමින් පවතින බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ වගකීම අදාළ මන්ත්‍රීවරයා විසින් භාරගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

Discussion & Feedback