අද කාලේ ගොඩක් දෙනෙක් තමන්ගේ ජංගම දුරකථනයට කොයිතරම් ඇබ්බැහි වෙලාද කියනවා නම්, ඒක නිසා පවුල් ජීවිත සහ මිනිස් සම්බන්ධතා පවා බිඳ වැටෙමින් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා. සීදූවේ පැවති ආගමික උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, විවෘත වෙළඳපොළ ආර්ථිකයත් එක්ක ඇති වුණු පාරිභෝගිකවාදය නිසා මිනිස්සු අත්‍යවශ්‍ය නොවන දේවල් පවා ලබාගන්න හරිම ආසාවකින් ඉන්න බවයි. මේ නිසා මිනිස්සුන්ගේ සැබෑ අවශ්‍යතාවලට වඩා කෘතිම ආශාවන් පස්සේ දුවන්න අද සමාජය පුරුදු වෙලා තියෙනවා.
විශේෂයෙන්ම ජංගම දුරකථනය අද බොහෝ දෙනෙක්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා. රෑ නින්දට යන වෙලාවේ පවා දුරකථනය දිහා බලාගෙන ඉන්න මිනිස්සු, පහුවෙනිදා එළිවෙනකම්ම විවිධ වැඩසටහන් නරඹමින් නින්ද පවා කැප කරනවා. මේ තත්ත්වය නිසා දෙමව්පියන් සහ දරුවන් අතර තිබිය යුතු සුන්දර පවුල් ජීවිතය සහ ගුණධර්ම අද සමාජයෙන් ගිලිහී යමින් පවතින බව උන්වහන්සේ කනගාටුවෙන් සිහිපත් කළා. ඒ වගේම, අධ්‍යාපනය ලැබුවා කියලා තමන් හැමදේම දන්නවා කියන අහංකාරකම අද සමාජයේ ඉහළ තනතුරු දරන අය අතර පවා දකින්න ලැබෙන බවත්, ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback