කැනඩාවේ ප්‍රධානතම ඔත්තු සේවා ආයතනය වන ‘Communications Security Establishment’ (CSE) ආයතනය පසුගිය වසරේදී සිදුකළ රහසිගත සයිබර් මෙහෙයුම් කිහිපයක් පිළිබඳව අලුත්ම වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ඔත්තු සේවා ආයතන තමන්ගේ මෙහෙයුම් ගැන එළිපිට කතා කරන්නේ නැති වුණත්, මෙවර ඔවුන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අන්තවාදී කණ්ඩායම් සහ කප්පම් ලබාගන්නා සයිබර් අපරාධකරුවන් ඉලක්ක කරගෙන විශේෂ සයිබර් ප්‍රහාර දියත් කර තිබෙනවා.
මෙම මෙහෙයුම්වලදී කැනඩාවට මත්ද්‍රව්‍ය සැපයූ ජාවාරම්කරුවන්ගේ ජාලය අඩපණ කිරීමටත්, තරුණයන් අන්තවාදයට යොමු කරමින් සිටි කණ්ඩායමක විශ්වාසනීයත්වය බිඳ දැමීමටත් ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම, කැනඩාවේ සෞඛ්‍ය සහ ප්‍රවාහන අංශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වුණු ප්‍රබල කප්පම් ලබාගන්නා සයිබර් කල්ලිවල සේවාදායකයන් (Servers) අක්‍රීය කරමින් ඔවුන්ගේ දත්ත පවා මකා දැමීමට මෙම ඔත්තු සේවා ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ හරහා කැනඩාවේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමටත්, රටට එල්ල වන සයිබර් ප්‍රහාර අවම කිරීමටත් ඔවුන් විශාල උත්සාහයක් දරන බව පැහැදිලියි.
මෙම මෙහෙයුම්වලදී ඔවුන් භාවිතා කළ තාක්ෂණික ක්‍රමවේදයන් ගැන වැඩි විස්තර හෙළි නොකළත්, අනාගතයේදීත් මෙවැනි තර්ජනවලට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම රජයේ ආයතන ඉලක්ක කරගෙන එල්ල වන ව්‍යාජ ඊමේල් ප්‍රහාර (Phishing) වළක්වා ගැනීමටත් ඔවුන් ආරක්ෂක පියවර ගෙන තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට සයිබර් අවකාශය තුළ සිදුවන මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව මේ සිදුවීම්වලින් හොඳින්ම පෙනී යනවා.

Discussion & Feedback