කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නිවාඩු නිකේතනයකදී වවුලෙකුගේ පහරදීමකට ලක්වූ එකොළොස් හැවිරිදි දරුවෙක් ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. දරුවා නිදා සිටියදී ඔහුගේ මුහුණ මත වවුලෙකු සිටිනු දැක එය ඉවත් කළත්, බාහිර තුවාල කිසිවක් නොතිබූ නිසා දෙමාපියන් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කර නැහැ. නමුත් දින 19කට පසු දරුවාගේ මුහුණේ ඉදිමීමක් සහ හිරිගතියක් ඇතිවීමත් සමඟ රෝග ලක්ෂණ මතු වුණා.
පසුව දරුවා රෝහල් ගත කළත්, මුලින්ම වෛද්‍යවරුන් සිතුවේ මෙය වෙනත් වෛරස් ආසාදනයක් බවයි. කෙසේ වෙතත්, දරුවාගේ තත්ත්වය වේගයෙන් නරක අතට හැරෙමින් උණ, ගිලීමේ අපහසුව සහ මායාවන් පෙනීම වැනි රෝග ලක්ෂණ මතු වුණා. පසුව සිදුකළ පරීක්ෂණවලින් ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව තහවුරු වූ අතර, රෝහල් ගත කර දින 17කට පසු දරුවා ජීවිතක්ෂයට පත් වුණා. කැනඩාවේ ජලභීතිකා රෝගය ඉතා දුර්ලභ වුවත්, වවුලන් වැනි සතුන් සමඟ කෙලින්ම සම්බන්ධ වීමක් සිදුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු බව විශේෂඥයන් අවධාරණය කරනවා. රෝග ලක්ෂණ මතු වූ පසු ජලභීතිකා රෝගය සුව කිරීම අතිශය දුෂ්කර සහ මාරාන්තික බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback