ඇමරිකාව සහ කැනඩාව අතර පැවති තීරණාත්මක වෙළඳ සාකච්ඡා අවසන් මොහොතේ බිඳ වැටීමත් සමඟ දෙරට අතර වෙළඳ යුද්ධයක් ආරම්භ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු භාණ්ඩ සඳහා පනවා තිබූ නව බදු පැනවීම් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුණා. මීට ප්‍රතිචාර දක්වමින් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ප්‍රකාශ කළේ ඇමරිකාව පනවන සෑම බද්දකටම සමාන වටිනාකමකින් යුත් ප්‍රති-බදු ඇමරිකානු භාණ්ඩ සඳහා පැනවීමට තම රජය තීරණය කර ඇති බවයි. ඇමරිකාව අවසන් මොහොතේ ඉදිරිපත් කළ කොන්දේසි අසාධාරණ සහ ආර්ථික වශයෙන් ගැළපෙන්නේ නැති ඒවා බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
මෙම තත්ත්වයත් සමඟ වයින්, කිරි නිෂ්පාදන, සිමෙන්ති සහ ඇඳුම් පැළඳුම් වැනි කැනේඩියානු භාණ්ඩ රැසකට 50%ක දැවැන්ත බද්දක් ඇමරිකාව විසින් පනවා තිබෙනවා. පසුගිය වසරේ සිටම දෙරට අතර පැවති මෙම වෙළඳ අර්බුදය විසඳා ගැනීමට දෙපාර්ශවයම උත්සාහ කළත්, අවසානයේදී සාකච්ඡා අසාර්ථක වීමෙන් දෙරටේම ව්‍යාපාරික ක්ෂේත්රයට සහ පාරිභෝගිකයන්ට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ප්‍රිමියර් ඩග් ෆෝඩ් ඇතුළු දේශපාලන නායකයින් ද අගමැතිවරයාගේ මෙම දැඩි තීරණයට සිය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා. ඉදිරියේදී මෙම වෙළඳ ගැටුම කෙසේ විසඳේවිද යන්න පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

Discussion & Feedback