ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල සේවය කළ ඉහළ පෙළේ පර්යේෂකයන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් කැනඩාව වෙත සංක්‍රමණය වීමට තීරණය කර තිබෙනවා. කැනඩා රජය විසින් හඳුන්වා දී ඇති නව වැඩපිළිවෙළක් යටතේ, දේශගුණික විපර්යාස සහ වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්රවල පර්යේෂණ සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 504ක අරමුදල් වෙන් කර ඇති අතර, එය ලොව පුරා සිටින පර්යේෂකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙලෙස කැනඩාවට පැමිණෙන පර්යේෂකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසක් ඇමරිකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් පැමිණෙන්නන් වීම විශේෂත්වයක්.
ඇමරිකාවේ වත්මන් පාලන තන්ත්රය විසින් විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීම සහ දේශපාලනික මැදිහත්වීම් වැඩි කිරීම නිසා බොහෝ විද්වතුන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණවල නිරත සෙත් ගුයිකෙමා වැනි විද්වතුන් පවසන්නේ, ඇමරිකාව තුළ පර්යේෂණ පැවැත්වීම අභියෝගාත්මක වී ඇති බවයි. කැනඩාව ඔවුන්ට වඩාත් සුහදශීලී සහ ස්ථාවර පරිසරයක් ලබා දෙන බවත්, මෙය විද්‍යා ක්ෂේත්රයේ අනාගතයට ඉතා වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කැනඩාවේ කර්මාන්ත ඇමතිනි මෙලනි ජොලි පවසන්නේ, ලොව දක්ෂතම පර්යේෂකයන් තම රටට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවයි. ඇමරිකාව සහ කැනඩාව අතර පවතින වෙළඳ ගැටුම් මධ්‍යයේ සිදුවන මෙම පර්යේෂකයන්ගේ සංක්‍රමණය, ජාත්‍යන්තර මට්ටමින් කැනඩාවට විශාල වාසියක් ගෙන දෙනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත්, ඇමරිකානු විශ්වවිද්‍යාල තවමත් ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටියත්, මෙවැනි පර්යේෂකයන් පිටව යාම ඇමරිකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට විශාල පාඩුවක් වනු ඇති බවටයි මත පළවන්නේ.

Discussion & Feedback