කැනඩාවේ වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ටොරොන්ටෝ බලා පිටත් වීමට නියමිතව තිබූ පෝටර් එයාර්ලයින්ස් ගුවන් යානයක්, කුඩා දරුවෙක් සීට් බෙල්ට් එක පැළඳීමට අකමැති වීම හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. ගුවන් යානය ධාවන පථය දෙසට ගමන් කරමින් තිබියදී, එහි සිටි කුඩා දරුවෙක් තම අසුනේ නැගී සිටිමින් සීට් බෙල්ට් එක පැළඳීමට දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. දරුවාගේ දෙමාපියන් සහ ගුවන් සේවකයන් කොතරම් උත්සාහ කළත් දරුවා එයට එකඟ වී නැහැ. ගුවන් ගමනේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැඩි නීති රීති නිසා, මෙවැනි තත්ත්වයක් යටතේ ගුවන් යානය ගුවන්ගත කිරීම අනාරක්ෂිත බව තීරණය කළ ගුවන් සේවකයන්, යානය නැවත ගුවන්තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගත්තා.
යානය නැවත ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු දරුවා සහ දෙමාපියන් ඉවත් කිරීමටත්, ඔවුන්ගේ ගමන් මලු ලබා ගැනීමටත්, අදාළ ලියකියවිලි නැවත සකස් කිරීමටත් විශාල කාලයක් ගතවී තිබෙනවා. මේ අතරතුර වික්ටෝරියා ගුවන්තොටුපළේ ධාවන පථය මධ්‍යම රාත්‍රී 12.30ට වසා දැමෙන නිසා, නියමිත වේලාවට ගුවන් ගමන ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. මේ සිදුවීම නිසා අනෙකුත් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම කණගාටුව පළ කර ඇති අතර, එම මගීන්ට පසුදින ගුවන් යානයකින් ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ගුවන් ගමන ආරක්ෂාවට මුල්තැන දෙමින් ගත් මෙම තීරණය නිසා ගුවන් ගමන පසුදින දහවල් වන තුරු කල් දැමීමට සිදුවූ බවයි පෝටර් එයාර්ලයින්ස් ප්‍රකාශක බ්‍රැඩ් සිසෙරෝ සඳහන් කළේ.

Discussion & Feedback