මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි ලීසිං සමාගම් මගින් වාහන අත්පත් කරගැනීම. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව, ලීසිං සමාගමක නියෝජිතයන්ට වාහනයක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න කිසිම අයිතියක් නැහැ. පොලිස් නිලධාරීන්ටත් මේ වගේ වැඩකට මැදිහත් වෙලා වාහනයක් අත්පත් කරගන්න උදව් කරන්න බැහැ. පොලිසියට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ සාමය ආරක්ෂා කරන්න විතරයි. ඒ වගේම, යම්කිසි වාහනයක් අත්පත් කරගන්න යනකොට ලීසිං සමාගම ඒ සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා නම් විතරයි පොලිසියට ඒ ස්ථානයට යන්න වෙන්නේ. හැබැයි ඒ වෙලාවෙත් පොලිසියට වාහනය අත්පත් කරගැනීමේ ක්රියාවලියට සෘජුවම සම්බන්ධ වෙන්න නීතියෙන් ඉඩක් නැහැ.
තවදුරටත් පැහැදිලි කළොත්, වාහනයක් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ අදාළ පුද්ගලයාගෙන් කිසිම විරෝධයක් නැත්නම් විතරයි. යම් විරෝධයක් තියෙනවා නම්, ලීසිං සමාගම අනිවාර්යයෙන්ම දිසා අධිකරණය හරහා නීතිමය පියවර ගන්න ඕනේ. මේ නීති රීති උල්ලංඝනය කරලා කවුරුහරි බලහත්කාරයෙන් වාහනයක් ගන්නවා නම්, ඒක බරපතළ වරදක්. ඒ වගේ වෙලාවක ඔබට ළඟම තියෙන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරන්න පුළුවන්. පොලිසිය පරීක්ෂණ පවත්වලා සොරකම් කිරීම හෝ නීති විරෝධී ලෙස ඇතුළු වීම වගේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නවා. ඒ නිසා ලීසිං සමාගම්වලට තමන්ට ඕන විදිහට නීතිය අතට අරගෙන වාහන අත්පත් කරගන්න බැරි බව ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ.

Discussion & Feedback