ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂ ඇල්ෆොන්සෝ ක්වාරෝන්ගේ අලුත්ම නිර්මාණය වන ‘ඇසෙන්ෂන්’ (Ascension) නම් මනෝවිද්යාත්මක භීෂණ කතා මාලාව සඳහා ඇපල් ටීවී ආයතනය හරිත එළිය පෙන්වා තිබෙනවා. ජනප්රිය ‘අවුට්ලෑන්ඩර්’ කතා මාලාවෙන් ලොව පුරා රසික ආදරය දිනාගත් කැට්රියෝනා බාල්ෆේ මෙහි ප්රධාන චරිතයට පණ පොවන අතර, ඇය විධායක නිෂ්පාදකවරියක ලෙසත් කටයුතු කරනවා. ඇඩම් නෙවිල්ගේ ‘ලාස්ට් ඩේස්’ නවකතාව ඇසුරින් නිර්මාණය වන මෙම කතා මාලාව, ආදරය කරන අයව ආරක්ෂා කරගන්න අපි කොයිතරම් දුරක් යනවාද සහ ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීම් කරනවාද කියන ගැඹුරු කාරණාව ගැන කතා කරනවා.
මෙහිදී කැට්රියෝනා රඟපාන්නේ රෝස් නම් වාර්තා චිත්රපට අධ්යක්ෂවරියකගේ චරිතයයි. දික්කසාද වූ මවක් වන ඇය, අන් අයගේ රහස් හෙළි කිරීමට දක්ෂ වුවත් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට වෙහෙසෙන කෙනෙක්. ඇය ‘චර්ච් ඔෆ් ඇසෙන්ෂන්’ නම් අද්භූත නිකායක් ගැන වාර්තා චිත්රපටයක් කිරීමට ගොස්, එහි ඇති භයානක සත්යයන් හෙළි කරගන්නා ආකාරය මෙම කතා මාලාව පුරා දිවෙනවා. ඇල්ෆොන්සෝ ක්වාරෝන් සහ නටාලි එරිකා ජේම්ස් ප්රමුඛ කණ්ඩායමක් විසින් මෙහි තිර රචනය සහ අධ්යක්ෂණය සිදු කරනවා.
ඇපල් ටීවී සහ ක්වාරෝන් මීට පෙර නිර්මාණය කළ ‘ඩිස්ක්ලේමර්’ කතා මාලාව විශාල සාර්ථකත්වයක් ලැබූ නිසා, මෙම නවතම නිර්මාණය ගැනත් රසිකයන් අතර ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කැට්රියෝනා බාල්ෆේගේ රංගන කුසලතාවයත් සමඟ මේ කතා මාලාව ඉදිරියේදී ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. ඇයගේ ඉදිරි සිනමා නිර්මාණ කිහිපයක්ම එළිදැක්වීමට නියමිත අතර, ඇපල් ටීවී සමඟ ඇයගේ මෙම නව ගමන බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

Discussion & Feedback