පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් තොරව ඉතාමත් අනාරක්ෂිත ලෙස මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති අතර, එහි තිබී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදුකර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරඟ ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසිනුයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන ලද ටින් මාළු දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් කිහිපයකටම බෙදාහැර ඇති බවයි. විශේෂයෙන්ම මෙම නිෂ්පාදනවල නිෂ්පාදිත දිනයක් හෝ සඳහන් කර නොතිබීම පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් බවයි බලධාරීන් පවසන්නේ. මේ වන විට අදාළ නිෂ්පාදන ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටිනවා.
මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන හෝ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් වෙළඳපොලේදී භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත්, සැක සහිත නිෂ්පාදන ඇත්නම් වහාම දැනුම් දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් සිහිපත් කරනවා.

Discussion & Feedback