පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදුකරපු හදිසි වැටලීම්වලදී නීති විරෝධී ලෙස ලන්ච් ශීට් සහ සිලි සිලි බෑග් අලෙවි කරපු ස්ථාන 104ක් සොයාගෙන තියෙනවා. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා දිස්ත්රික්ක 22ක් ආවරණය වන පරිදි මේ වැටලීම් සිදුකරපු අතර, එහිදී ලන්ච් ශීට් සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් 43ක් සහ සිලි සිලි බෑග් සම්බන්ධ සිදුවීම් 58ක් ඇතුළුව තවත් පොලිතින් ආශ්රිත වැරදි කිහිපයක් හඳුනාගන්න පුළුවන් වුණා. නියමිත ලේබල් කිරීමේ ක්රමවේදයන්ට අනුකූල නොවන ලන්ච් ශීට් තොග අධිකාරිය විසින් නීතිමය කටයුතු සඳහා අත්අඩංගුවට ගෙන තියෙනවා.
දැනට පවතින නීතිරීතිවලට අනුව, LDPE සහ LLDPE වර්ගයේ පොලිතින් බෑග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදීම තහනම්. ඒ වගේම මේ බෑග්වල මිල පැහැදිලිව ප්රදර්ශනය කරන්න ඕනේ වගේම, බඩු ගන්නා පාරිභෝගිකයාගේ බිල්පතේ ඒ සඳහා අය කරන මුදල වෙනම සඳහන් කරන්නත් අනිවාර්ය කරලා තියෙනවා. මේ නීති කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත්, ඉදිරියේදී නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ සැපයුම්කරුවන් ඉලක්ක කරගෙන දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙනවා. ඒ නිසා වෙළෙඳුන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

Discussion & Feedback