මේ වසරේ මුල් මාස කිහිපය තුළදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ෆාමසි 471ක් විශේෂ වැටලීම්වලට ලක් කර තිබෙනවා. පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ අරමුණින් සිදුකළ මෙම වැටලීම්වලදී නීති විරෝධී ලෙස කටයුතු කළ ෆාමසි රැසක් හසුකර ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. විශේෂයෙන්ම පසුගිය අගෝස්තු 3 සහ 4 යන දිනවලදී පමණක් ෆාමසි 109ක් පරීක්ෂා කර ඉන් 86කම නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී තිබීම කනගාටුදායක තත්ත්වයක්. මේ වන විට මෙම වැටලීම් හරහා අධිකරණය මගින් අය කරගත් දඩ මුදල් ප්‍රමාණය රුපියල් 2,269,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම වැටලීම්වලදී කල් ඉකුත් වූ ඖෂධ වර්ග, එන්නත්, සිරින්ජර්, ක්‍රීම් වර්ග සහ ළදරු නිෂ්පාදන ඇතුළු තවත් වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඇතැම් ෆාමසිවල පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතු තොරතුරු සඳහන් නොකිරීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ අලෙවි කිරීම වැනි බරපතළ වැරදි රැසක් අනාවරණය කර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වුණා. අත්අඩංගුවට ගත් මෙම සියලුම භාණ්ඩ ඉදිරියේදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පාරිභෝගිකයන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන මෙවැනි ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියටත් දැඩි නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback