ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනය කරපු අලුත් බස් ගාස්තු සංශෝධනය හෙට (ජූලි 6) ඉඳන් රට පුරාම ක්රියාත්මක වෙන්න නියමිතයි. මේ නව ගාස්තු සංශෝධනය පෞද්ගලික බස් රථවලට වගේම ලංගම බස් රථවලටත් එක විදිහටම බලපානවා. කෙටි දුර, දිගු දුර සහ සුඛෝපභෝගී බස් සේවා කියන හැම අංශයකටම මේ අලුත් ගාස්තු අදාළ වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියන්නේ, මේ ගාස්තු ගණනය කරලා තියෙන විදිහ ගැන ලොකු ගැටලුවක් තියෙනවා කියලා. විශේෂයෙන්ම පසුගිය දශක දෙකක් තිස්සේ පාවිච්චි කරපු ක්රමවේදයට වඩා වෙනස් ක්රමයක් මේ පාර හඳුන්වා දීලා තියෙන නිසා කෙටි දුර ගමන්වලදී ගැටලු මතු වෙන්න පුළුවන් බව ඔහු පෙන්වා දෙනවා. අනාගතයේදී ඉන්ධන මිල අඩු වුණත්, මේ ක්රමය නිසා කෙටි දුර ගාස්තු ඒ විදිහටම අඩු නොවෙන්න ඉඩ තියෙනවා කියලත් ඔහු අනතුරු අඟවනවා.
කොහොම වුණත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරලා තියෙන්නේ සැලසුම් කරපු විදිහටම හෙට ඉඳන් මේ ගාස්තු ක්රියාත්මක කරන්නයි. මේ වෙනස්කම් සිද්ධ වෙන කාලසීමාවේදී මගී ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ඒ වගේම, මේ ගාස්තු ගණනය කිරීමේ ක්රමවේදය ගැන නැවතත් සලකා බලන්න කියලා ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback