ලෝක ප්රකට බ්රෝඩ්වේ සංගීතමය වේදිකා නාට්යයක් වන ‘හැඩෙස්ටවුන්’ (Hadestown) හි ප්රධාන චරිතයක් සඳහා රංගන ශිල්පී ජෙනෝ සීගර්ස්ව තෝරාගෙන තිබුණත්, මේ වන විට ඔහු එම නිර්මාණයෙන් ඉවත් කිරීමට නිෂ්පාදකවරුන් පියවර අරගෙන තියෙනවා. මේ තීරණය අරගෙන තියෙන්නේ ඔහු මීට පෙර සමාජ මාධ්ය ඔස්සේ පළ කර තිබූ ආන්දෝලනාත්මක අදහස් සහ වීඩියෝ දර්ශන කිහිපයක් නැවතත් කරළියට ඒමත් සමඟයි. විශේෂයෙන්ම ලිංගික අනන්යතාවය සහ ට්රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු පළ කර තිබූ අදහස් නාට්ය රසිකයන් අතර දැඩි කතාබහකට ලක්වෙලා තිබුණා.
ඔන්ස්ටේජ් බ්ලොග් (OnStageBlog) වැනි වෙබ් අඩවි වාර්තා කර තිබුණේ, සීගර්ස් විසින් ට්රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන්ට එරෙහිව සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට විරුද්ධව අදහස් පළ කර ඇති බවයි. මේ සිදුවීමත් සමඟ ඇති වූ දැඩි විවේචන හමුවේ, නිෂ්පාදකවරුන් සහ ජෙනෝ සීගර්ස් අන්යෝන්ය එකඟතාවයකින් යුතුව ඔහු මෙම නාට්යයෙන් ඉවත් වීමට තීරණය කර තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් හෝ සීගර්ස්ගේ පාර්ශ්වයෙන් කිසිදු ප්රකාශයක් මෙතෙක් වාර්තා වෙලා නැහැ.
සීගර්ස් මේ වන විට තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම පෞද්ගලික ගිණුමක් බවට පත් කරගෙන තියෙන අතර, යූටියුබ් නාලිකාවේ තිබූ අදාළ වීඩියෝ දර්ශනත් ඉවත් කරලා තියෙනවා. ‘ද ලයන් කිං’ සහ ‘යෙලෝස්ටෝන්’ වැනි ජනප්රිය නිර්මාණ හරහා ප්රේක්ෂකයන් අතරට ගිය මේ නළුවාට, මෙවැනි මතභේදාත්මක කරුණු නිසා විශාල අවස්ථාවක් අහිමි වීම කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා. ඉදිරියේදී මේ චරිතය සඳහා වෙනත් රංගන ශිල්පියෙකු නම් කරන බව නිෂ්පාදකවරුන් දැනුම් දී තිබෙනවා.

Discussion & Feedback