ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ ගින්නෙන් විනාශ වූ භූමි ප්‍රමාණය 2025 වසරේදී පෙර වසරට සාපේක්ෂව ඉතා විශාල ලෙස පහළ ගොස් ඇති බව ‘MapBiomas’ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වෙනවා. 2024 වසරේදී හෙක්ටයාර මිලියන 15.8ක් ගින්නෙන් විනාශ වූ අතර, 2025 වසරේදී එම අගය හෙක්ටයාර මිලියන 3.1ක් දක්වා පහළ ගොස් තිබෙනවා. 1985 වසරේ සිට වාර්තා තැබීම ආරම්භ කළ දා පටන් ඇමසන් වනාන්තරයේ වාර්තා වූ අඩුම ගිනි තැබීම් ප්‍රමාණය මෙය බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බලයට පත්වූ දා සිට ඇමසන් වනාන්තරය ආරක්ෂා කරන බවට පොරොන්දු වී තිබුණා. මෙම දත්ත ඔහුගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට විශාල ශක්තියක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. කෙසේ වෙතත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙය ස්ථිර ප්‍රවණතාවක් ලෙස තවමත් සැලකිය නොහැකි බවයි. කාලගුණික විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගින්න තවමත් බරපතල තර්ජනයක්ව පවතින අතර, ඉදිරියේදී එළඹෙන වියළි කාලගුණික තත්ත්වයන් සමඟ ගින්න පැතිරීමේ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව විශේෂඥයින් අනතුරු අඟවනවා.
පසුගිය වසරේ ගින්න අඩු වීමට ප්‍රධාන හේතුවක් වූයේ ‘ලා නිනා’ කාලගුණික තත්ත්වයයි. නමුත් ‘එල් නිනෝ’ වැනි ස්වාභාවික කාලගුණික රටා නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, එය නැවතත් වනාන්තර ගින්නට මඟ පෑදිය හැකියි. එබැවින් ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල කිසිසේත්ම ලිහිල් නොකළ යුතු බවයි පරිසර විද්‍යාඥයින් අවධාරණය කරන්නේ.

Discussion & Feedback