කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන OpenAI ආයතනයේ දිගුකාලීන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බ්‍රැඩ් ලයිට්කැප්, තමන්ගේ නව ගමනක් ආරම්භ කිරීමේ අරමුණින් ආයතනයෙන් ඉවත් වීමට තීරණය කරලා තියෙනවා. 2018 වසරේදී OpenAI හා සම්බන්ධ වුණු ඔහු, මුලින්ම මූල්‍ය ප්‍රධානියා ලෙසත් පසුව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙසත් ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළා. විශේෂයෙන්ම ආයතනයේ මූල්‍ය, නීතිමය සහ හවුල්කාරිත්ව කටයුතු ඇතුළු අංශ රැසක් ගොඩනැගීමට ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළ බව තමයි වාර්තා වෙන්නේ.
තමන්ගේ ඉවත්වීම පිළිබඳව අභ්‍යන්තර පණිවිඩයක් නිකුත් කරමින් ලයිට්කැප් සඳහන් කරන්නේ, මෙය තමන්ට මිහිරි මෙන්ම කටුක අත්දැකීමක් බවයි. ඉදිරි කාලයේදී තමන් අලුත් යමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබුණත්, ඒ පිළිබඳ වැඩි විස්තර තවමත් හෙළි කරලා නැහැ. කෙසේ වෙතත්, OpenAI ආයතනයේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් තමන් දිගටම සහයෝගය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ වන විට OpenAI ආයතනය තුළ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක්ම ඉවත් වෙමින් පවතින අතර, මෙය ආයතනයේ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු සහ කොටස් වෙළඳපොළට පිවිසීමේ සූදානම සමඟ සම්බන්ධ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. මීට පෙර ෆිජි සිමෝ, බිල් පීබල්ස් සහ කෙවින් වෙයිල් වැනි ප්‍රබල නිලධාරීන් කිහිප දෙනෙක්ම ආයතනයෙන් ඉවත් වුණා. කෙසේ වෙතත්, ලයිට්කැප්ගේ මෙම ඉවත්වීම තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback