ලෝකයේ ලාබාලතම රජු ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි උගන්ඩාවේ ටූරෝ රාජධානියේ රජු වන ඔයෝ නිම්බා කබම්බා ඉගුරු රුකිඩි IV ගේ දේහය පසුගියදා එන්ටෙබේ ගුවන්තොටුපළ වෙත රැගෙන ආවා. වයස අවුරුදු 34ක් වූ රජු ඇමරිකාවේදී ප්රතිකාර ලබමින් සිටියදී පිළිකා රෝගයක් හේතුවෙන් අභාවප්රාප්ත වුණා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවෙනි ඇතුළු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටි අතර, රජුගේ දේහය හමුදා හෙලිකොප්ටරයකින් ඔහුගේ රාජධානිය වෙත රැගෙන ගියා. ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් කටයුතු දක්වා දේහය කරුසිකා මාලිගයේ තැන්පත් කර තැබෙන අතර, ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, රජුගේ අභාවයත් සමඟ ටූරෝ රාජධානියේ අනුප්රාප්තිකයා කවුද යන්න සම්බන්ධයෙන් මේ වන විට බරපතල මතභේදයක් නිර්මාණය වී තිබෙනවා. රජු විවාහ වී නොසිටියත්, ඔහුට පුතෙකු සිටින බව අගමැතිවරයා ප්රකාශ කළත්, රාජකීය පවුලේ සාමාජිකයන් එය ප්රතික්ෂේප කරමින් සිටිනවා. මෙම සිදුවීම රාජකීය පවුල තුළ විශාල නොසන්සුන්තාවයක් ඇති කර තිබෙන අතර, අගමැතිවරයා ඉල්ලා සිටින්නේ මෙම ගැටුම පවුල තුළම සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසයි. රජුගේ අභාවය වෙනුවෙන් උගන්ඩාවේ දින තුනක ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇති අතර, ජාතික ධජය අඩකුඹු කර තැබීමට ද පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback