ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට නුදුරින් පිහිටි ඕලන් නම් කුඩා ගම්මානය අසල මාර්ගයක තිබී ගමන් මල්ලක් හමුවීමත් සමඟ ප්‍රදේශයේම දැඩි නොසන්සුන්තාවක් ඇති වුණා. මඟ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙම ගමන් මල්ල හමුවී තිබුණේ ඔවුන් විවේකයක් සඳහා නතර වූ අවස්ථාවකදීයි. එහි තිබී හමුවූ දේ දුටු වහාම ඔවුන්ට එය මිනිස් සිරුරක් ලෙස සැක සිතී පොලිසියට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ මිනීමැරුම් පරීක්ෂණයක් පවා ආරම්භ කළේ සිද්ධිය ඉතා බරපතළ බව සිතමින්. නමුත් පසුව සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණේ එය සැබෑ මිනිස් සිරුරක් නොව ඉතාමත් තාත්වික ලෙස නිමවා තිබූ රූකඩයක් බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් අධිකාරි ලින්ඩා බ්‍රැඩ්බරි පැවසුවේ, මෙම රූකඩය ඇඳුම් පැළඳුම්වලින් සැරසී තිබූ අතර එහි තිබූ නාසයේ සිදුරු සහ සිරුරේ තිබූ තැලීම් සලකුණු නිසා එය සැබෑ මිනිස් සිරුරක් ලෙස ඕනෑම කෙනෙකුට මුළා විය හැකි බවයි. කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය වාර්තා කළ පුද්ගලයන් දෙදෙනා ඉතා නිවැරදි තීරණයක් ගත් බවත්, අපරාධයක් සිදුවී ඇත්නම් එය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ගැන තමන්ට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත්ය. මේ වන විට එම රූකඩය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඇති අතර, එය සැබෑ මිනිස් සිරුරක් නොවන බව තහවුරු කර ගැනීමත් සමඟ පොලිසිය එම පරීක්ෂණ කටයුතු නිමා කර තිබෙනවා.

Discussion & Feedback