අඟහරු ග්රහයා මත සිදුවන ගවේෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් මිලියන 700ක වටිනාකමකින් යුත් නව සන්නිවේදන චන්ද්රිකා ව්යාපෘතියක් සඳහා ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් (Blue Origin) සමාගම තෝරා ගැනීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ‘Mars Telecommunications Network’ හෙවත් MTN ලෙස නම් කර ඇති මෙම ව්යාපෘතිය මගින් අඟහරු මත සිටින රෝවර් යානා සහ පෘථිවිය අතර දත්ත හුවමාරුව ඉතා වේගවත් සහ විශ්වාසවන්ත මට්ටමකට ගෙන ඒමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. 2030 වසර වන විට මෙම පද්ධතිය අඟහරු කක්ෂයේ ස්ථාපිත කිරීමට නියමිතයි.
දැනට අඟහරු ගවේෂණය සඳහා භාවිත කරන පැරණි චන්ද්රිකා වෙනුවට, මෙම නව MTN චන්ද්රිකාව විශේෂයෙන්ම සන්නිවේදන කටයුතු සඳහාම පමණක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. බ්ලූ ඔරිජින් සමාගමේ ‘Blue Ring’ තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම යානය, අඟහරු මත මිනිසුන් ගොඩබෑමේ අනාගත මෙහෙයුම් සඳහා ඉතා වැදගත් පදනමක් සපයනු ඇති බවයි නාසා නිලධාරීන් පවසන්නේ. 2028 වසර අවසානයට පෙර මෙම යානය අභ්යවකාශයට යැවීමට නියමිත අතර, එය නාසා ආයතනයේ අඟහරු ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.
මෙම ව්යාපෘතිය හරහා අඟහරු මත සිදුවන විද්යාත්මක ගවේෂණවලට නව පණක් ලැබෙන අතර, අනාගතයේදී අඟහරු වෙත යැවෙන මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා අවශ්ය වන අධිවේගී දත්ත හුවමාරු පහසුකම් ද මෙමගින් සපයනවා. බ්ලූ ඔරිජින් සමාගම විසින්ම මෙම යානය නිර්මාණය කර, අභ්යවකාශගත කර, පාලනය කිරීමේ වගකීම ද භාරගෙන තිබීම ඔවුන්ගේ තාක්ෂණික දියුණුව මනාව පෙන්නුම් කරනවා.

Discussion & Feedback