ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේදී ගසක එල්ලී තිබියදී හමුවූ ටාසියා ෆෝචූන් නම් 29 හැවිරිදි සිව්දරු මවගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට බරපතල හෙළිදරව්වක් සිදුවෙලා තියෙනවා. පොලිසිය අධිකරණයේදී ප්‍රකාශ කළේ ඇයව ගසක එල්ලීමට පෙර ඇය මියගොස් සිටි බවත්, එම ස්ථානය පසුව සැලසුම් සහගතව සකස් කර ඇති බවත්ය. මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරනවා. පසුගිය අගෝස්තු මාසයේදී ජැක්සන් නගරයේ අතහැර දමා තිබූ නිවසක තිබී ඇගේ සිරුර හමුවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව අතර විශාල බියක් සහ සැකයක් ඇති වුණා. ඇමරිකාවේ පවතින ජාතිවාදී ප්රචණ්ඩත්වයේ ඉතිහාසය නිසා මෙය ජාතිවාදී ක්‍රියාවක් දැයි බොහෝ දෙනා සැක කළා.
මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. මියගිය තරුණියගේ මව මාධ්‍ය හමුවේ පවසන්නේ තම දියණිය අවසානය දක්වාම ජීවිතය වෙනුවෙන් සටන් කළ බව තමන් දන්නා බවයි. ඇය ඉල්ලා සිටින්නේ නිවැරදි පුද්ගලයින්ට දඬුවම් ලැබිය යුතු බවත්, අහිංසකයන් කිසිවෙකුත් සිරගත නොවිය යුතු බවත්ය. කුඩා දරුවන් හතර දෙනෙකුගේ මවක් වූ ටාසියාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇමරිකානු නීති සම්පාදකයින් පවා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. රට පුරා කළු ජාතිකයින් ගස්වල එල්ලී මියගිය සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback