ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ මුල් කාලයේදී හඳුනාගත් ‘කුඩා රතු තිත්’ (Little Red Dots) ලෙස හැඳින්වෙන මන්දාකිණි පිළිබඳව විද්යාඥයන් මේ වන විට අලුත් කතාවක් කියනවා. මේ කුඩා මන්දාකිණි ඇතුළේ ඝන දූවිලි පටලයකින් වැසුණු කළු කුහර සැඟවී තිබෙන්නට පුළුවන් බවයි පර්යේෂකයන් පවසන්නේ. මේ කළු කුහර මගින් ‘අවතාර අංශු’ හෙවත් නියුට්රිනෝ (Neutrinos) අංශු විශාල ප්රමාණයක් විශ්වය පුරා විහිදුවන බවටයි ඔවුන් සැක කරන්නේ. නියුට්රිනෝ කියන්නේ කිසිදු ආරෝපණයක් නැති, ස්කන්ධය ඉතා අඩු, අපේ ශරීර හරහා පවා තත්පරයකට ට්රිලියන ගණනින් ගමන් කරන අද්භූත අංශු විශේෂයක්.
සාමාන්යයෙන් ඉහළ ශක්තියක් සහිත නියුට්රිනෝ නිපදවෙන විට ඒ සමඟම ගැමා කිරණත් පිටවිය යුතුයි. නමුත් විශ්වයේ අපට නිරීක්ෂණය වන ගැමා කිරණ ප්රමාණය ඉතා අඩු නිසා, මේ නියුට්රිනෝ අංශු පිටවන්නේ ගැමා කිරණ පිටතට ඒමට නොහැකි තරම් ඝන දූවිලි හා වායු වළාකුළු වලින් වැසුණු ස්ථානවලින් බව විද්යාඥයන් තහවුරු කරගන්නවා. කියෝතෝ විශ්වවිද්යාලයේ රිකු කුසේ ප්රමුඛ පර්යේෂක කණ්ඩායම පවසන්නේ, පෘථිවියට ලැබෙන ඉහළ ශක්තියක් සහිත නියුට්රිනෝ අංශු වලින් සැලකිය යුතු කොටසක් මේ කුඩා රතු තිත් මන්දාකිණි තුළ සැඟවී ඇති කළු කුහර මගින් ජනනය වන බවයි. මෙය විශ්වයේ තවමත් විසඳී නැති විශාල අභිරහස් දෙකක් එකිනෙක සම්බන්ධ කරන වැදගත් සොයාගැනීමක් ලෙස සැලකෙනවා.

Discussion & Feedback