පාපන්දු ලෝක කුසලානයේ බෙල්ජියම සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති තීරණාත්මක තරගයට පෙර විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඒ ඇමරිකානු ප්රහාරක ක්රීඩක ෆොලාරින් බලෝගන් හට තරග කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් බෙල්ජියම් පාපන්දු සම්මේලනය දැඩි විරෝධයක් පළ කිරීම නිසයි. මීට පෙර රතු කාඩ්පතක් ලැබීම නිසා බලෝගන් හට තරග තහනමක් පැනවී තිබුණත්, ෆිෆා ආයතනය විසින් එම තහනම තාවකාලිකව අත්හිටුවමින් ඔහුව තරගයට එක් කර ගැනීමට ඉඩ ලබා දුන්නා. මෙය කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු වූ බව පවසන බෙල්ජියම් පාපන්දු බලධාරීන්, ෆිෆා ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරනවා.
බෙල්ජියම් පාපන්දු සම්මේලනය පවසන විදියට, ඔවුන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියත් ෆිෆා ආයතනය එය නිසි ලෙස ඉටු කර නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම අභියාචනයක් ලෙස සලකා, ඉතා කෙටි කාලයක් තුළ තීරණයක් ගැනීමට ඔවුන්ව බලකර තිබෙනවා. ෆිෆා රෙගුලාසිවලට අනුව, ලිඛිත තීරණයක් ලැබීමෙන් පසුව මිස අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි වුවත්, ෆිෆා ආයතනය ඒ කිසිවක් තැකීමක් කර නැහැ. තරගයට පෙර පැවැති සාකච්ඡාවලදී පවා ක්රීඩකයන්ගේ අත්හිටුවීම් පිළිබඳ මාතෘකාව මඟ හැරීමට ෆිෆා කටයුතු කර තිබීම බෙල්ජියම සැක මතු කරන කරුණක්.
තරගයේ ප්රතිඵලය කුමක් වුවත්, පාපන්දු ක්රීඩාවේ සදාචාරය සහ සාධාරණ තරගකාරීත්වය වෙනුවෙන් ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බෙල්ජියම් පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. ෆිෆා ආයතනය සිය විනය නීති සංග්රහයේ 27 වන වගන්තිය යොදා ගනිමින් බලෝගන්ගේ තහනම කල් දැමුවත්, මේ සිදුවීම පාපන්දු ලෝකයේ විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback