ජනප්රිය ‘ටොප් ගියර්’ වැඩසටහනේදී ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් මුහුණ දුන් බිහිසුණු රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. එම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ මගී අසුනේ සිටි රිය පැදවීමේ උපදේශක පෝල් රීස්, බීබීසී ස්ටුඩියෝස් ආයතනයට එරෙහිව පවුම් ලක්ෂ එකහමාරක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබෙනවා. කෙසේ වෙතත්, බීබීසී ආයතනය පවසන්නේ මෙම අනතුරට ප්රධාන හේතුව වී ඇත්තේ රීස් විසින් ෆ්ලින්ටොෆ්ට ලබා දුන් වැරදි සහ අනතුරුදායක උපදෙස් බවයි.
අනතුර සිදුවූ මොහොතේ මෝටර් රථයේ රෝදයක් පොළොවෙන් ඉහළට එසවී ඇති අතර, ඒ පිළිබඳව ෆ්ලින්ටොෆ් සිය බිය පළ කර තිබෙනවා. නමුත් රීස් ඔහුට පවසා ඇත්තේ රථය පෙරලෙන්නේ නැති බවත්, දිගටම රිය පදවන ලෙසත්ය. රීස් මීට පෙර කිසි දිනෙක මෙවැනි මෝටර් රථයක් පදවා නොතිබියදීත්, ඔහු ලබා දුන් මෙම උපදෙස් ඉතාම නුසුදුසු බව බීබීසී ආයතනය අධිකරණය හමුවේ පෙන්වා දෙනවා. මෙම අනතුරෙන් පසු ෆ්ලින්ටොෆ් බරපතල තුවාල ලබා මානසිකවත් දැඩි පීඩාවකට පත් වුණා. මේ වන විට නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින නිසා වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකරන බව බීබීසී ප්රකාශකයෙක් සඳහන් කළා. 2022 වසරේ සිට නතර කර තිබූ ‘ටොප් ගියර්’ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබඳවද මේ දිනවල විවිධ කතාබහ ඇති වෙමින් පවතිනවා.

Discussion & Feedback