ලෝක ප්රකට බීබීසී ප්රවෘත්ති නිවේදිකාවක වන මරියම් මොෂිරි තමන් රුධිරගත පිළිකා රෝගයකින් පෙළෙන බව පසුගියදා මාධ්ය හමුවේ හෙළි කළා. ඇයට වැළඳී ඇත්තේ ‘පොලිසයිතීමියා වේරා’ (Polycythaemia vera) නම් දුර්ලභ රුධිර පිළිකා තත්ත්වයක්. 2024 නොවැම්බර් මාසයේදී සිදුකළ වෛද්ය පරීක්ෂණයකින් පසුව ඇයට මෙම රෝගය හඳුනාගෙන තිබෙනවා. රෝගය මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූවත්, පසුව අධික වෙහෙස, හිසරදය සහ කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇයට බලපා තිබෙනවා.
මොෂිරි පවසන පරිදි, මෙම රෝගය නිසා රුධිරය ඝන වීමෙන් හෘදයාබාධ හෝ ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඇය මේ වන විට ප්රතිශක්තිකරණ ප්රතිකාර මෙන්ම රුධිරය පිටතට ගැනීමේ (venesection) වේදනාකාරී ප්රතිකාර ක්රමවලටත් මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම ඇය පවසන්නේ, මේ රෝගය නිසා ඇතිවන වෙහෙස සාමාන්ය නින්දකින් පවා සමනය කළ නොහැකි තරම් දරුණු බවයි. කෙසේ වෙතත්, රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් ඇය මේ ගැන ප්රසිද්ධියේ කතා කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය වසර දෙකක කාලය පුරාම ඇය රෝගී තත්ත්වය මධ්යයේ වුවත් සිය වෘත්තීය කටයුතු අත්නොහැර අඛණ්ඩව සිදු කර තිබීම විශේෂත්වයක්. විදෙස් රටවලට පවා ගොස් ප්රවෘත්ති වාර්තා කිරීමට ඇය කටයුතු කළා. තවමත් තමන්ගේ සෞඛ්ය තත්ත්වය ගැන අවිනිශ්චිත බව පැවසුවත්, රෝගය පාලනය කර ගනිමින් ඉදිරියටත් සිය වෘත්තීය ජීවිතය පවත්වාගෙන යාමට ඇය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback