අන්තර්ජාලය සහ සමාජ මාධ්ය හරහා පැතිර යන අසත්ය තොරතුරු හෙවත් ‘ඩිස්ඉන්ෆෝමේෂන්’ රැල්ල පාලනය කිරීම සඳහා බීබීසී ආයතනය තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් වෙනවා. බීබීසී අධ්යක්ෂ ජනරාල් මැට් බ්රිටින් පවසන පරිදි, යූටියුබ් සහ එක්ස් (ට්විටර්) වැනි වේදිකාවල බීබීසී ආයතනයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන් කටයුතු කරනවා. අසත්ය තොරතුරු බහුලව පැතිරෙන මෙවැනි වේදිකාවල නිවැරදි සහ අපක්ෂපාතී මාධ්ය වාර්තාකරණය ඉදිරිපත් කිරීම හරහා, බීබීසී ආයතනය එම අසත්ය තොරතුරු විනාශ කරන ‘විෂබීජ නාශකයක්’ ලෙස ක්රියා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ කමිටුවක් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අද පවතින බෙදුණු ලෝකය තුළ සත්ය තොරතුරු ජනතාව අතරට ගෙන යාම අත්යවශ්ය බවයි. යූටියුබ් වැනි වේදිකාවල ඇල්ගොරිතම ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් විනිවිදභාවයක් තිබිය යුතු බවත්, බීබීසී වැනි විශ්වාසවන්ත මාධ්ය ආයතනවල අන්තර්ගතයන් ජනතාවට පහසුවෙන් සොයා ගැනීමට හැකි විය යුතු බවත් ඔහු අවධාරණය කළා. ඇතැම් සමාජ මාධ්ය වේදිකාවල අසත්ය තොරතුරු සහ අපහාසාත්මක අදහස් වැඩිපුර ප්රචලිත වීම ගැටලුවක් වුවත්, එවැනි තැන්වලින් ඉවත් වෙනවා වෙනුවට සත්ය තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කිරීම තම වගකීම බවයි බීබීසී ප්රධානියා පවසන්නේ.
කෙසේ වෙතත්, අනාගතයේදී අදාළ වේදිකාවල පවතින තත්ත්වය අනුව බීබීසී ආයතනය තම පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමාලෝචනයක් සිදු කරන බවත්, අවශ්ය වුවහොත් ඇතැම් වේදිකාවලින් ඉවත් වීමට හෝ අලුත් වේදිකාවලට එක්වීමට පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback