ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ දර්ශන තවමත් තමන්ට ලැබී නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ අතර, එහිදී අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව බරපතල කරුණු රැසක් සාකච්ඡා වුණා. නමුත් මේ වන විට නීතිඥ සංගමයට ලැබී තිබෙන්නේ සාකච්ඡාවේ ආරම්භක කොටස පමණක් වන අතර, එහි ශබ්දය පවා පැහැදිලි නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය මත, සාකච්ඡාවේ සියලුම අදහස් සහ ප්‍රතිචාර ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටය ලබා දෙන ලෙස නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ නිල අදහස් දැක්වීම් සහිත වීඩියෝව දැනටමත් ලබා දී ඇති බවයි. ඉතිරි කොටස් ද නියමිත නිල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් හැකි ඉක්මනින් ලබා දෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, නීතිඥ සංගමය පවසන්නේ කිහිප වරක් ඉල්ලා සිටියත් තවමත් එම වීඩියෝ දර්ශන ලැබී නැති බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන පසුබිමක, මෙම වීඩියෝ දර්ශන සම්බන්ධ ගැටලුව තවත් උණුසුම් වී තිබෙනවා. අදාළ පාර්ශ්වයන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව මෙවැනි තීරණ නොගත යුතු බව නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

Discussion & Feedback